STEP FORWARD
Daily Promise
ඔබ කටයුතු කරන්නේ ඔබට පුළුවන් තරම් හොඳින් වුවත් ඔබ වටා සිටින අයගෙන් ඔබට සිත් රිදවීම් ඇතිවෙනවා…ඒ ඔබේ පවුලේම අය, රාජකාරි ස්ථානයේ අය, මිතුරන්, පෙම්වතා/ පෙම්වතිය අසල්වැසියන්, ඥාතීන් නිසා වෙන්න පුළුවන්…..
කොයිතරම් හොඳ කලත් මේ අය ඔබේ හිත රිදවන්නේ ඇයි ? මේ හැමදාමත් අපි හැමෝටම පවතින ප්‍රශ්නයක්…
මේ ගැන වඩා හොඳින් තේරුම් ගන්නට පුංචි අභ්‍යාසයක් කරලා බලන්න. ගත සිත නිහඬ කරගෙන, පහසුවෙන් වාඩි වී, ඔබ ඉදිරියේ ඔහු / ඇය ව මවාගන්න. ටික වෙලාවකට ඔබ ඒ කෙනා බවට පත්වෙලා බලන්න. ඔහුගේ/ඇයගේ සිතුවිලි රටාව, පවතින ප්‍රශ්න, සිත් පීඩා, මානසික ආතතිය.. මේ සියල්ල ඔහුට / ඇයට පිට කර ගන්නට තැනක් නෑ…ඔහුට/ ඇයට පවතින්නේ ප්‍රකෝපකාරී හැසිරීම් රටාවක්…අන් අයගේ සිත රිදෙන වචන සමුදායක්…සමහර විට ඔහුට / ඇයට තමන්ගේ කෙලෙස් සිත පාලනය කරගන්න බැරුව ඇති. වරදක් කරන්න පෙළඹිලා ඇති. තමන්ට තමන්ව පාලනය කරගත නොහැකි සිතුවිලි රටාවක් නිසා දුක් විඳිනවා ඇති…..ඒ සියල්ලේ ප්‍රතිඵලයක් තමයි ඔහුගෙන් හෝ ඇයගෙන් පිටවෙන්නේ…..අහල පහල ඉන්න ඔබ තමයි ඒ සියල්ලේ ගොදුරක් බවට පත්වෙන්නේ…ඔහු/ ඇය බවට පත්වෙලා ලෝකය දෙස බලන ඔබට පාලනය කරගත නොහැකි ඒ පීඩාව දැනෙනවා…සමාව දෙන්න ඒ නොමේරු සිතට..නිදහස් වෙන්න ඔබ කිසිදු වරදක් කළ අයෙක් නෙවෙයි නම්..
තවත් අයකුගේ හැසිරීම් රටාවට, ඔහු කතා කරන වචන වලට හේතුව ඔබ නොවේ. ඔහුගේ/ ඇයගේ ම පවතින මානසික පීඩාවයි. එවැනි අයෙක් සමග වාද කිරීම, තර්ක කිරීම, අඬදබර කිරීම, හේතු විමසීම, ප්‍රශ්න ඇසීම කිසිම තේරුමක් නැති වැඩක්..ඔබ නිර්දෝෂ නම් ඔබ නිහඬ වෙන්න. සිතින් ඔහුට /ඇයට මෛත්‍රී කරන්න. ඒ අයට ඒ දැනෙන පීඩාවන් දුරුවෙලා සත්‍ය වටහා ගන්නට හැකි වේවා යන සිතින් ඔබ කටයුතු කරන්න.
ඔහුගේ/ ඇයගේ පැටලිලි සහගත හැසිරීම් රටාව පාලනය කර ගන්නට ඔබේ නිහඬ බව උපකාර වෙනවා…ඔබේ මෛත්‍රී සිතුවිලි ඔහු/ ඇය කෙරෙහි බලපානවා….මේ හැර ඔහු/ ඇය සමග වාද කර, දබර කර ගැනීමේ කිසිම තේරුමක් නැහැ…යම් දිනක ඔහු/ඇය සත්‍ය වටහාගෙන, තම තමන්ව පාලනය කරගෙන, ඔබේ අවංක සිත තේරුම් ගන්න දවසක් ආවත්, නැතත් ඔබේ නිහඬ ප්‍රතිපත්තියේ ඔබ ඉදිරියට යන්න. වරදක් නොකරන ඔබ පසුතැවිලි වීමෙන් මිදෙන්න. සතුටින්, ඉවසීමෙන් ඉදිරියට යන්න.
චාන්දිමා මූනමලේ ඈපා
www.stepforwardlanka.com

