Today I Choose

Today I Choose

STEP FORWARD LANKA
පරිවර්තනයේ සරසවිය

ජීවිතයේ සමහර අවස්ථාවලදී නොපැකිළව අඳ – ගොළු – බිහිරි බවට පත් වෙන්න ඔබටත් පුළුවන් නම්….ඔබ දිනුම්!

මව්පියන් එක්ක ගෙදර ඉන්න තාක් කල් සතුටින්, සැහැල්ලුවෙන්, පොතපතේ වැඩ විතරක් කරගෙන, ගෙදර වැඩි වැඩක් නොකර හිටපු දරුවො පතිකුලයට පිවිසීමත් එක්ක වගකීම් බහුල අය බවට පත් වෙනවා….

රැකියාවක් කරන්න, නිවෙසේ කටයුතු කරන්න, පිරිසිදු කිරීම් කරන්න, දරුවන් රැකබලා ගන්න, සමාජ වගකීම් දරන්න…..සියලු යුතුකම් වගකීම් ඒ අය මත පැටවෙනවා….. ඒ සේරම අතරේ තමන්ගේ බිරිඳ /සැමියා තේරුම් ගන්න, අලුත් ඥාතීන් එක්ක ගණුදෙනු කරන්න ගියාම තමයි ඉගෙන ගත්තු සේරම දැනුම මදි කියලා තේරෙන්නෙ !

දන්න හොඳම විදියට කොයි දේ කලත් සැමියාගෙන්/බිරිඳගෙන් වැඩි හොඳක් නම් අහන්න ලැබෙන්නේ නැහැ! බොහෝ විට ඔහුගේ/ඇයගේ ඥාතීන්ගෙන් අහන්න තියෙන්නෙත් වැරදි අඩුපාඩුම තමයි. රැකියා පීඩනය අධිකයි.

මේ වගේ ප්‍රශ්න වලදී කෝපයට පත්වුණු, අඬදබර පටලවා ගන්නා, ඉවසීම අවසන් වුනු තරුණ යුවතිපතීන් සමහරවිට දික්කසාදය දක්වා යනවා. තවත් අය විශාදය Depression හදාගෙන මනෝ ප්‍රතිකාර වලට යොමු වෙනවා. වසර 27 ක් උපදේශනය සඳහා ආව මේ වගේ අය කොතෙක්ද?

මේ වගේ ප්‍රශ්න නිසා ඔවුන් හිත දුකට පත් කරගෙන දුක් වුණා කියලා ලැබෙන දෙයක් නෑ…. තවත් ඇතිවෙන්නේ වෙහෙසක් විතරයි. කොහොමද කෙනෙක් තමන්ට වෙනස් කරන්න බැරි මේ වගේ ගැටලුවලට මුහුණ දෙන්නේ?? උපදේශනයේදී අපි ලබන අත්දැකීම් එක්ක අපි දකිනවා සමහර අයට තමන්ට තියෙන වගකීම් බහුල බව කොයිතරම් වුවත්, සතුටින් සැහැල්ලුවෙන්, ඒ සියල්ල දරාගෙන දරුවන් යහමගට ගැනීමේ භාරදූර කටයුතුවල නියැළෙනවා. ඒ අය කොහොමද එහෙම ඉන්නෙ ??

අපි දුකට පත් වෙන්නේ යමක් බලාපොරොත්තු වුණොත් විතරයි.
🌹තමන්ගේ සතුට රැකගෙන, 🌹කිසිවක් බලාපොරොත්තු නොවෙන තැනට හිත හදාගෙන, 🌹නිවැරදිව යුතුකම් ඉටු කරන්න පුලුවන් නම් එයයි ජයග්‍රහණය!
එහෙම කරන්න ඔබට හැකි වෙන්නෙ “අඳ – ගොළු – බිහිරි න්‍යාය” පාවිච්චි කළොත් තමයි.!
මේක තමන්ගේ හිත වේදනාවට පත්කරන කොතනටත් සුදුසුයි. තමන්ගෙ වැඩ ටික තමන් හරියට කරනවා නම් රාජකාරි ස්ථානයේ දීත් නිවසේදීත් නෑසූ කන්ව, නොදුටු සේ, තමන්ගේ පාඩුවේ වැඩ කිරීමෙන් තිබෙන වැඩ මදිවට අනුන් නිසා එන වෙහෙස අඩු කර ගන්න පුළුවන්.

සැමියාට කේලම් කියන නැන්දම්මා, තමන්ගේ අඩුපාඩුම දකින නෑනා, වැරදි හොයන කාර්යාලය සගයින්, ඔබව අගය කරන්නැති සැමියා/ බිරිඳ, ඉවරයක් නැතුව දබර කර ගන්න දරුවන්……වැනි මේ කියන හැම දෙනාටම හොඳම බෙහෙත අඳ – ගොළු – බිහිරි න්‍යාය තමයි. මේ අයට කොයිතරම් දේ පැහැදිලි කළත් ඒ අය තේරුම් ගන්නේ නෑ…… ඊට හේතුව ඔබේ අතේ වරදක් නැති කමයි. ඔවුන්ගෙම අදක්ෂතාවය නිසා ඒ අයගෙන් ඔබට බාධා එල්ල වෙනවා වෙන්න පුළුවන්.

අදින් පස්සේ ඔබට දොස් කියන/ බොරු කතා කියන /ඇනුම්පද කියන /කේලම් කියන අය කියන දේ /කරන දේ
🌸දැක්කේ නැති විදිහට ඉන්න
🌸ඇහුනේ නැති විදිහට ඉන්න
🌸පැහැදිලි කිරීම් වලට නොයන්න.

ඔබට ඔබේ ශක්තිය ඉතුරු වෙනවා…. ඇත්තටම කිව්වොත් “මේවා මට අදාල නෑනේ” කියලා හිතාගෙන ඔබේ වැඩ කරගෙන යාමයි සුදුසු…. කරලා බලන්න. අනවශ්‍ය, අදාළ නොවන පීඩනය නොගෙන ඉන්නයි මේ කියන්නෙ…
අවශ්‍ය දේවල් නෑහුනු ගානට ඉන්න නෙවෙයි 😃

චාන්දිමා මුනමලේ ඈපා
STEP FORWARD LANKA

Leave a Reply

Your email address will not be published. Required fields are marked *