සතුටේ රහස
ඔබත් සතුටින් ජීවත් වෙන්න කැමතිද? ඔව්! ඒත් ඔබේ සතුට නැති කරන්නේ කවුද ? එක්කෝ අතීතය, නැත්නම් අනාගතය !
මෙලොව මේ තාක්කල් සතුටින් ජීවත් වුණු, සිත දියුණු කරගත් හැම අයෙක්ම ජීවත් වුණේ මේ මොහොත තුළට එළඹෙමින්. සිත පුහුණු කරන්න පුළුවන්. ඇත්තටම ඔබට සතුට අවශ්‍ය නම්.
ඔබ දන්නවද නවතින්න ? ඔව්! ඔබ කියයි. ඒත් ඒ ඔබේ කයනේ නවතින්නේ. මේ නවත්වන්නෙ ඔබේ සිත. බුදු රජාණන්වහසේ “මම නැවතිලා. ඔබත් නවතින්න” කියලා අංගුලිමාලට කිව්වේ මේ නිසා වෙන්න ඕනේ.
මොන වැඩක යෙදුනත් ඔබටත් හොරෙන් හතර වටේ රවුම් ගහන්න යන සිත නවත්වාගන්න තමයි PAUSE කරන්නෙ. මේ මොහොතට එන්න. මේ මෙතනට!
උදාහරණයක් විදිහට හිතන්න ඔබ මේ වෙලාවේ ඉන්නෙ කුස්සියේ උයන්න සූදානම් වෙමින් කැරට් කපන ගමන් කියලා…ඔබ හරි අගේට අත කපාගන්නෙත් නැතුව කැරට් කපනවා. ඒත් ඔබේ හිත කොහෙද බලන්න. එක්කෝ තාමත් අර උදේ ඇතිවුණු ප්‍රශ්නය මතක් කරමින් සැමියාට හිතින් බනිනවා. නැත්නම් කා එක්ක හෝ කොහේ හරි පැටලිලා.
එක් ක්ෂණයකින් සිත ගන්න මේ මෙතනට. බලන්න ඔබ තවමත් කැරට් කපනවා. ඔබට දැනෙනවා ඔබේ අත් දෙක කරන දේ..ඔබ ඉන්න ඉරියව්ව දැනෙනවා. පේනවා. එළවළුවේ සුවද දැනෙනවා. කැරට් කෑල්ලක් හපලා බැලුවොත් එහි රසය දැනෙනවා. ඇසින්, කනින්, නාසයෙන්, දිවෙන්, ස්පර්ශයෙන් වගේම සිතින් ඔබ දැන් ඉන්නේ මේ මෙතන. මොහොතක් පාසා මේ මෙතන සිදුවන වෙනස්කම් දකින්න. ඔබේ අත, ඇස, සිත ක්‍රියාත්මක වෙන හැටි දකින්න. කොයිතරම් දේ අපි අසිහියෙන් කරලද? වැඩක නිරත වෙද්දී ඒ ගැන අවධානයෙන්, සිහියෙන් එය කරන්නට පුරුදු වෙන්න.
සිත පුරුදු වෙලා ඉන්නෙ නිතරම කොහේ හරි යන්න. සිහිය පිහිටුවා ගැනීම තමයි බොහෝ දෙනෙකුට කරන්න අපහසුම දේ. සතුට අවශ්‍ය අයෙක් කළ යුතුම දේ.
ඔබට මෙහෙම කරන්න අමතකම වෙනවා නම් යම් කාලයක් තුළ වරින්වරට Alarm තියන්න. එය වදින විට හිත කොහේ තිබුණත් ක්ෂණයකින් මේ මොහොතට ගන්න. දැන් කරන දේට අවධානය දෙන්න. අවසානයේ මෙය ඔබට පුරුද්දක් බවට පත් කරගන්න.
අතීතයේ පැටලි, පැටලී ගිය වේදනාවෙන් මිදෙන්නත්, නොඑළඹුණු අනාගතයක් ගැන බිය හෝ අනවශ්‍ය බලාපොරොත්තු ඇති කර නොගන්නත් එතකොට ඔබට පුළුවන් වෙනවා.
වැඩිදුර මේ දේවල් ඉගෙන ගන්න පුහුණු වෙන්න ඇත්තටම කැමති එකතු වෙන්න.
https://whatsapp.com/channel/0029VbBGyeZ7oQhb1oQu2T1M
STEP FORWARD LANKA අපේ කණ්ඩායම දිනපතාම වගේ සිත පුහුණු කිරීමේ යෙදෙනවා.
චාන්දිමා මූනමලේ ඈපා
www.stepforwardlanka.com

